ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් සහ ආරක්ෂාව ඉල්ලයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් සහ ආරක්ෂාව ඉල්ලයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැ යි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.

ඇය කියා සිටියේ අදාළ ලිපි මුදල් අමාත්‍යාංශයට සහ පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් භාර දුන් බව යි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු අවශ්‍ය බවත්, ඒ සඳහා නිලධාරීන් ලබා දෙන්නැ යි මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ දැක්වෙනවා.

එමෙන්ම, පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 500න් මේ වනවිටත් මුදලින් ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවද වාර්තා වනවා.

එසේ වුවද මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ වනවිට ඡන්දයට අදාළව රුපියල් මිලියන 250කට අධික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බවද මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මේ අතර, පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වනදා සිට 31 වනදා දක්වා සිදු කිරීමට යෝජනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත යි.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තේරීම්භාර නිලධාරින් හෙට මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.