රනිල් මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නවා – අනුර දිසානායක

රනිල් වික්‍රමසිංහ මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නා බවත්, වත්මන් ආණ්ඩුව සාමකාමී, ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
අද (09) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව කියා සිටියා.
එහිදී අනුර කුමාර දිසානායක වැඩි දුරටත් කියා සිටියේ,
“පසුගිය 26 වෙනිදා ජාතික ජන බලවේගයේ අපි පාරට බැස්සේ ප්රජාතන්ත්රවාදය ඉල්ලලා. නියමිත පරිදි මැතිවරණ පවත්වනවා වෙනුවට මැතිවරණය කඩාකප්පල් කරන රනිල්ට විරුද්ධව අපි ඉතාමත් සාමකාමී අරගලයක යෙදුණා. විහාරමහාදේවී උද්‍යානයේ සිට පිටකොටුව දක්වා යාමට සැලසුම් කර තිබුණා. අපි මාර්ග බාධකවල සිටි පොලිස් නිලධාරීන්ට පැහැදිලි කළා. සාමකාමීව පාරේ එක් තීරුවක් පාවිච්චි කරමින්, අපේ මතය ඉදිරිපත් කරන්න යන්න අවස්ථාව දෙන්න යැයි අපි ඉල්ලා සිටියා. ඒක ප්රජාතන්ත්රවාදී අයිතියක්. එය සාමකාමී උද්ඝෝෂණයක්, ඉතාමත් විනයානුකූල උද්ඝෝෂණයක්.
නමුත් පොලීසිය මඟ හරස්කොට එයට විවිධ කඳුළු ගෑස්, ජල ප්‍රහර එල්ල කරමින් එය මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටියා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ නිමල් සොහොයුරා ඝාතනය වීම. ඒ වගේම තවත් සොයුරෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නවා. පෙරේදා අන්තර් විශ්විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවන් සාමකාමී උද්ඝෝෂණවල නිරත වුණා. රනිල් වික්‍රමසිංහගේ මැර කණ්ඩායම් යොදවා පන්න පන්නා ඔවුන් දැඩි මර්දනයට ලක්කළා. අනතුරුව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාට පසුව විශ්වවිද්‍යාලයට පවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එහිදී විශ්විවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් කඳුළු ගෑස්වලට ලක්වීම නිසා මිය ගියා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ පාසල් සිසුන්ටත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එයට විරුද්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, දරුවන් මේ ප්රජාතන්ත්ර විරෝධී මෘග ක්‍රියාමාර්ගයට එරෙහිව ඔවුන්ගේ හඬ ප්‍රකාශ කර සිටියා.
රනිල් වික්‍රමසිංහ එයට පිළිතුරු දෙන්නේ එම දරුවන්ටත් ගුරුවරුන්ටත් පන්න පන්නා ප්‍රහාර එල්ල කිරීමෙන්. ඒකට විරෝධතාවය දැක්වීමට පාරට බැස්ස කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ටද පොලිස් හා හමුදා යොදවා පහර දෙන්න පටන් ගත්තා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ මේ ආණ්ඩුව මේ රටේ සාමකාමී, ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් තිබෙනවා. මේ ඡායාරූපවලින් මේ නිල හමුදාවන් බව පෙනෙනෙවා. ලී පොලු රැගත් හමුදාවන්, යකඩ පොලු රැගත් හමුදාවන්, මේ අයුරින් සන්නද්ධ කිරීමට තිබෙන නීත්‍යානුකූල බලය මොකක්ද? විවිධ වර්ගයේ කුරුඳු පොලු අරගෙන මේ සාමකාමී උද්ඝෝෂණයන්ට පහර දෙන සංස්කෘතියක් රනිල් වික්‍රමසිංහ ආරම්භ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. කකුළුවා හොඳින් දිය කෙළිමින් ඉන්නේ වතුර රත්වෙනතුරු පමණක් බව. ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයට පහර දීලා, හිර කරලා මැඩ පවත්වන්න පුළුවන් කියලා හිතනවානම් එය රනිල් වික්‍රමසිංහ දකින දවල් හීනයක් පමණයි.” යනුවෙන්.

