මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14) තීරණය කළා.
එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහා අභියාචනාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨතම විනිසුරුවන් පත් කිරීමට පියවර ගන්නා බවත් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න නිවේදනය කර සිටියා.
මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝග කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළා.
අදාල සිතාසිය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෛත්‍රිපාල සිරිසේන විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

