පොහොට්ටුවට අලුත් සභාපතිවරයෙක්

පොහොට්ටුවට අලුත් සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීමට එම පක්ෂයේ මහ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මහ සභා රැස්වීම අද(22) පෙරවරු 10 ට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ආරම්භ වුණා.

එහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කරගනු ලැබුවා.

එලෙස උන්වහන්සේ නව සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබුවේ මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුර සඳහායි.

ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ පාර්ශවයට සහය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය මාර්තු මාසයේ රැස්වූ පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කළා.

කෙසේ වෙතත් අද පැවති මහ සභා රැස්වීමේදී ගනු ලබන තීරණ වලංගු භාවයෙන් තොර බවයි පොදුජන පෙරමුණේ හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ සඳහන් කළේ. ඊට එරෙහිව සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.