කරන්නාගොඩ ජූලි චන්ග්ට ලියූ ලිපිය

තමාට සහ සිය බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් පනවා ඇති තහනමට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.
අමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් එරට රජය විසින් පනවනු ලැබූ අදාළ තහනම සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය වෙත ලිපියක් යොමු කරමිනුයි වසන්ත කරන්නාගොඩ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
අමෙරිකානු තානාපතිවරිය විසින් අදාළ නියෝගය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වෙත කලින් දැනුවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා ලැබී ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
අදාළ නියෝගය නියමිත ක්‍රියාපටිපාටියට අනුව සිදු කර ඇති බවට නෛතික වශයෙන් ඉදිරිපත් කර ඇතත් අමෙරිකානු තානාපතිවරිය ඊට අදාළ චෝදනා සම්බන්ධයෙන් තමා වෙත කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
මෙය ලොව සියලු රාජ්‍යයන් විසින් පිළිගනු ලබන ස්වභාවික යුක්තියේ මුලධර්ම උල්ලංඝනය කිරීමක් බව පෙන්වාදෙන වසන්ත කරන්නාගොඩ මහතා අමෙරිකානු තානාපතිවරිය තම වෙත එල්ල කර ඇති චෝදනා පිළිනොගන්නා බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

