අතීතයේ සිදු වූ වැරදි අපට ආපසු හැරවිය හැකියි

අතීතයේ සිදු වූ වැරදි අපට ආපසු හැරවිය හැකියි

බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රටේ ආර්ථිකය බංකොලොත්වීම සහ තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නගන ප්‍රශ්නවලට දේශපාලඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලුදෙනාට පිළිතුරු දීමට සිදුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව පවතින බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

එමෙන්ම රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බවයි එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ

පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය බවත්, බිම් මට්ටමින් බලය බෙදාහැරීම පිළිබඳ ඉදිරි මාස දෙක තුන තුළදී තීරණය කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

COMMENTS