යුද ජයග්‍රහණයට වසර 14යි – ජාතික රණවිරු සැමරුම් උළෙල අද

ඊළාම් සිහිනය වෙනුවෙන් වසර 33 ක් මාස 9 ක් සහ සති 3 ක් පැවති කුරිරු යුද්ධය නිමාකර අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගන්නේ මීට 14 වසරකට පෙරයි.
1983 වර්ෂයේ දී දෙමළ සටන්කාමීන් කියාගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද හමුදා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් 1979 වර්ෂයේ දී පළමු ඊළාම් යුද්ධය ආරම්භ වුණා.
1984 වර්ෂයේ සිට ප්‍රභාකරන් විසින් උතුරු පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළ අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක විය.
ඉන් අනතුරුව දෙවැනි ඊළාම් යුද්ධය 1990 වසරේ ආරම්භ වූ අතර එය 1994 අගෝස්තු දක්වා පැවැත්වුණා.
නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ නෞකා දෙකක් විනාශ කිරීමත් සමඟ 1995 අප්‍රේල් 19 දින ත්‍රස්තවාදීන් තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ කළා.
කෙසේ වෙතත් 2001 වර්ෂයේදී යළි සටන් විරාමයක් ආරම්භ කළ අතර මෙය 2003 දක්වා පැවැත් වුවත් 2006 වසරේ දී ස්විට්සර්ලන්තයේ දී සාම සාකච්ඡා ක්‍රියාත්මක වුවත් ඒවාද අසාර්ථක වුණා.
ඉන් අනතරුව 2006 ජූලි 26 දින සිවු වැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සේනාධිනායකයා වශයෙන් යුද්ධය අවසන් කිරීමේ අදිටනින් යුතුවයි.
හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් පමණක්ම වූ මේ මෙහෙයුම නැඟෙනහිර මානුෂීය මෙහෙයුම නමින් එය හැඳින්වුණා.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000ක පමණ පිරිසගේ ජල සැපැයුම අත්හිටු වූ අතර මාවිල්ආරු මුදාගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් සිවු වැනි ඊළාම් යුද්ධය ආරම්භ විය.
2007 සැප්තැම්බර් අවසන් සතියේ දී මන්නාරමේ සහල්නැළිය නමින් හැඳින්වූ ප්‍රදේශය මුදාගැනීමේ මෙහෙයුම පළමු වැනි කාර්ය සාධක බළකාය මඟින් දියත් කරන ලද අතර 2007 දෙසැම්බර් 22දා උලියන්කුලම් නගරයත් ඉන් මාස කිහිපයකට පසු 2008 ජුනි 22දා මන්නාරමේ සහල්නැළිය ප්‍රදේශය මුළුමනින්ම මුදා ගැනීමට වීරෝධාර සෙබළුන් සමත් වුණා.
කෙසේ වෙතත් 2008 අප්‍රේල් 25දා සුප්‍රසිද්ධ මඩු දේවස්‌ථානය ද 2008 මැයි 17දා පාලම්පිඩ්ඩි හා 2008 ජුනි 26දා පෙරියමඩු ගම්මානයද 2008 ජූලි 16දා වෙඩිතල්තිව් මුහුදු කොටි කඳවුර අත්පත් කර ගත්තා.
මේ වනවිට කොටි ත්‍රස්තවාදීන් මල්ලාවි සහ තුනුක්කායි නගර වෙත පසුබසිමින් සිටිය අතර 57 වැනි සේනාංකය එම නගර ප්‍රදේශ හමුදා පාලනයට නතු කරගනු ලැබුවා.
2008 නොවැම්බර් 15දා මන්නාරම් පුනරින් මාර්ගය යාපනය තෙක් විවෘත කිරීමට ආරක්‍ෂක හමුදාවන්ට හැකි වුණා.
2008 නොවැම්බර් 11 උතුරු මාන්කුලම් නගරය මුදාගෙන තිබිණ අතර ඉන්පසු පුලියන්කුලම්, කනගරායන්කුලම් යන නගර රක්‍ෂක හමුදාවේ ඊළඟ මෙහෙයුම වූයේ එල්ටීටීඊ සංවිධානයේ හදවත මෙන්ම ප්‍රභාකරන්ගේ බලකොටුව වූ කිලිනොච්චිය මුදාගැනීමයි.
2009 ජනවාරි 02දා කිලිනොච්චිය ආරක්‍ෂක හමුදා පාලනයට නතු කරගැනීමට හැකියාව ලැබෙනවා.
2009 ජනවාරි 14 වනවිට ඉදිරියට ගිය බළසේනා චුන්ඩිකුලම්, පලෙයි, සොරන්පත්තු හා අයියක්‌කච්චි හරහා අලිමංකඩ ප්‍රදේශ එල්ටීටීඊ ග්‍රහණයෙන් මුදා ගන්නවා.
සුප්‍රසිද්ධ අලිමංකඩ 2009 ජනවාරි 9 මුදා ගැනුණ අතර 2009 ජනවාරි 25දා මුලතිව් කොටි කේන්ද්‍රස්ථානය ඇදවැටීම නිසා කොටි නායකත්වය මුලතිව් කුඩා ප්‍රදේශයකට කොටු වූණා.
එමෙන්ම 58 වැනි සේනාංකය සුගන්ධිපුරම්, පුදුකුඩිඉරිප්පු මංසන්ධිය, ඉරනපලායි සහ පුදුමාතලන් ප්‍රදේශවල දී ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශවල බලය තහවුරු කරගත්තා.
ඒ වනවිටත් එල්ටීටීඊ සංවිධානය අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගනණක් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් සිටි අතර එම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලොව මෙතෙක් දියත් කළ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසද ඉතිහාසයට එක්වෙනවා.
වෙල්ලමුල්ලිවයික්කාල්හිදී අවසන් එල්ටීටීඊ බිම්කඩද අත්පත් කර ගත් අතර පසුව නන්දිකඩාල් කළපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයා ගැනීමත් සමඟ වසර 33 පැවති යුද්ධය නිමා කර සාමයේ නිදහස ශ්‍රී ලාංකික වැසියන්ට උරුම කර දෙනවා.
එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එකම අරමුණ වූයේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම මිස අහිංසක දමිළ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත තත්ත්වයට පත් කිරීම නොවේ.
ඔහුට කිසිවිටෙකත් සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව සමඟ සමඟියෙන් ජීවත් වීමට අවශ්‍ය වූයේ ද නැත.
එමෙන්ම ලෝවැසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් මහනුවර ශ්‍රී දළදා මාළිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වෙඩි තැබීම, කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයේ යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් 173ක් ඝාතනය ත්‍රස්ත ක්‍රියාකාරකම් අතර විය.
ඊට අමතරව සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ඝාතන මෙන්ම, බෝම්බ ප්‍රහාර ප්‍රමාණය ද මෙතෙක් යැයි කිව නොහැකි තරම්ය.
කෙසේ වෙතත් දහස් ගණන් මිනිස්සුන්ට ජීවිත අහිමි කළ තවත් බොහෝ දෙනා ආබාධිතයින් බවට පත් කළ රටේ මහා ධන සම්පතක් විනාශ කළ කුරිරු යුද්ධය අවසන් වූයේ රට සංවර්ධනයට අලුත් මාවතක් විවර කරමිනි.
එම නිදහස උදා වී මේ වසරට අප වසර 14ක් ගෙවා තිබෙනවා.
මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ 14 වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ මේ උදෙසා අසීමිත කැපවීමක් කළ යුද ගිනිදැල් නිවාලමින් ජාතියට හුස්ම ගන්නට අයිතිය ලබා දුන් වීරෝධාර රණවිරුවන් කිසිසේත්ම අමතක කළ නොහැකි අතර ඔවුන් අනුස්මරණය කිරීම අපගේ යුතුකමක් ද වන්නේය.
මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, මැති ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිවරුන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
මෙහිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් සමඟ පැවති 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදු කෙරෙනු ඇති.

