විභාග පැවැත්වීමේ දී මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුවට – ජනපති

විභාග පැවැත්වීමේ දී මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුව, උන්නතිය වෙනුවෙන් මිස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ පහසුව වෙනුවෙන් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමග අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් ඇත්නම් එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා විසින් එහිදී අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන් පිරිසක් ඔවුන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවට වෙනත් පාසලක විභාග මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් දරුවන් දුෂ්කරතාවන්ට මුහුණ දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්.
මේ පිළිබඳව සොයා බැලීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන සීමා කිරීමට තීරණය කළ බවයි.
මෙය සිසුන්ගේ මානසික මට්ටමට සෘජුවම බලපාන තත්ත්වයක් හෙයින් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමේ දී අවම වශයෙන් වසරක පමණ කාලයක් එම පාසල් සහ සිසුන් දැනුවත් කර එය ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පවත්වන සියලු විභාග ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට විධිමත් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවත්, ඒවා නොපවැත්වීමට හේතු දැක්වීම විභාග දෙපාර්තමේන්තුවේ කාර්යයක් නොවන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සිසුන්ට හුරු පරිසරයේ විභාගයට පෙනී සිටීමට පසුබිම සැකසීම අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමක් බවයි සඳහන් කර ඇත්තේ.

