ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක්

ජූනි මාසය අවසානය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර රට තුළ ඩෙංගු හා කොවිඩ් පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

රට තුළ ඩෙංගු රෝගය හා කොවිඩ් 19 රෝගය පැතිරීම පාලනය සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් ජනාධිපතිවරයා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකු අයත්.

මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක්ද ඩෙංගු සහ කොවිඩ් රෝග පාලනය සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පත් කර තිබෙනවා.

මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව ඊයේ (10) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ ඩෙංගු මර්දන යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය වී තිබෙනවා.

COMMENTS