ජනවාරියේ විදුලි බිලට සහනයක්

ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
“රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා. අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.”
මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව ද අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
පසුගිය දින දෙක තුළ දී ඉන්ධන වර්ග කිහිපයක හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර ඔහු පෙන්වාදෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සතු කිසිදු ඛනිජ තෙල් නිෂ්පාදනයක හිඟයක් නොමැති බවය.

