අස්වැසුමෙන් අක්‍රමිකතා සිදු වෙලා

අස්වැසුමෙන් අක්‍රමිකතා සිදු වෙලා

සමෘද්ධි සහනාධාරය වෙනුවට ක්‍රියාත්මක කිරීමට නියමිත අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලභීන් තෝරාගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වෙනවා.

පවුල් ලක්ෂ 20ක් සඳහා හඳන්වා දී ඇති අස්වැසුම වැඩසටහන ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

සමෘද්ධි සහනාධාරය ලබා දීමේදී සිදු වූ බවට චෝදනා එල්ල වූ අක්‍රමිකතා අස්වැසුම ව්‍යාපෘතිය යටතේ අවම කර ගන්නා බවයි රජය මීට පෙර අවධාරණය කළේ.

අස්වැසුම සුභසාධන ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 20ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට අනුමත කර ඇති බව වාර්තා වෙනවා.

නමුත් ඉන් සංක්‍රාන්තික ප්‍රතිලාභී පවුල් ලක්ෂ 4ක් සඳහා මාස 5ක් සහ අවදානමට ලක් වූ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 4ක් සඳහා මාස 8ක් ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි.

දිළිදු ප්‍රතිලාභී පවුල් ලක්ෂ 8ක් සඳහා සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා වසර 03ක කාලයක් ප්‍රතිලාභ ලැබෙනු ඇති.

මේ අතර අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට එරෙහිව ඊයේ (23) දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත වුණි.

විරෝධතාකරුවන් පවසන්නේ, දිළිඳු ජනතාව වෙනුවට සිය ප්‍රදේශවල පදිංචි නුසුදුස්සන් ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීම ඉතා අසාධාරණ බවය.

අයදුම්පත් කැඳවීමෙන් පසු මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනුණු අතර සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව www.wbb.gov.lk වෙබ් අඩවිය ඔස්සේ දැනගත හැකිය.