තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙලක්

තැපෑල විකිණීමේ කිසිදු අරමුණක් නැනැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුව ලබා ඇති අලාභය බිලියන 7 ක් බවයි.
මේ අතර , තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය,
මේ රටේ තිබෙන පැරැණිතම දෙපාර්තමේන්තුවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ දැනටත් පවතින්නේ රැජිනගේ කාලයේ ගෙනා ආඥා පනතක්. එය තවමත් සංශෝධනය වී තිබෙන්නේ එක් වරක් පමණයි. එය තැලෑප නව්‍යකරණයට විශාල බාධාවක්ව පවතිනවා. එය වෙනස් කිරීම මඟින් අදායම් වැඩි කර ගැනීමට අප බලාපොරොත්තු වනවා. තැපෑලේ සමස්ත සේවකයන් 27,000ක් පමණ සිටින අතර, තැපෑල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3342, නියෝජ්‍ය තැපැල් කාර්යාල 140කින් සමන්විතයි. මෙපමණ ජාලගත තැපෑලක් අපට තිබුණත් ගිය වසරේ අලාභය රුපියල් මිලියන 7000ක් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අමාත්‍යාංශය මට භාරදුන් පසු මෙම තැපෑල ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ගෙන යන වැඩපිළවෙළ නිසා මේ වසරේ තැපෑලේ අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම තත්ත්වය, 2024 වසර වන විට ආදායම වියදම අතර පරතරය සමපාත කිරීමට සැලසුම් කර තිබෙනවා. 2025දී තවදුරටත් භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තැපෑලක් බිහි කිරීම අපේ අරමුණයි.
තැපෑල ඩිජිටල්කරණයෙන් නව අදායම් උත්පාදන මාර්ග ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. දැනට මුද්දර අලෙවියෙන් රුපියල් මිලියන 4000ක් උපයන අතර, තැපැල් මුද්‍රා තැබීමෙන් රුපියල් මිලියන 668ක් ඉපයීමට සමත්ව තිබෙනවා. ලිපි හා භාණ්ඩ හුවමාරුවෙන් රුපියල් මිලියන 631ක් හා කෑෂ් ඔන් ඩිලිවරි සේවාව මඟින් රුපියල් මිලියන 200ක අදායමක් උපයා ගැනීමට තැපෑල සමත්ව තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමය තවත් ප්‍රචලිත කරමින් අදායම් තත්ත්වය ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා. විදේශ ගමන් බලපත්‍රය, විභාග ලේඛන, ඉඩම්, උප්පැන්න හා මරණ සහතික මෙන්ම ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීම හා බෙදාහැරීමෙ ක්‍රියාවලියට අනුගතවීමට තැපෑල් දෙපාර්තමේන්තුව සූදානම් කිරීමට සැලසුම් කර තිබෙනවා. ස්මාර්ට් තැපෑල නිර්මාණය කිරීමේදී දිගු කාලයක් පවතින සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සේවාවට යොදවා තිබූ පාපැදිය වෙනුවට ත්‍රීරෝද රථ 1000ක් දිවයින පුරා යෙදවීමටත් සැලසුම් කර තිබෙනවා.ඒ වගේම නිල ඇඳුම් ලබාදීමටත් අප බලාපොරොත්තු වනවා. මේ සියලු දේ සැලසුම් කර ශක්තිමත් තැපෑලක් නිර්මාණය කිරීම අපේ සැලසුමයි.

