පින්බර ඇසළ පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී ඇත.
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ.
ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වේ.
රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ඉතිහාසයේ ද වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.
අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ ඇසළ පුරපසළොස්වක පොහොය දිනයක වන දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද අද වැනි පොහොය දිනයක බව සඳහන්ය.
විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි.
එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන මහනුවර දළදා පෙරහරත් ඇසළ මාසය තුළ දී සිදු කරනු ඇත.

