නොගෙවූ විදුලි බිල්පතක් ගැන නාමල්ගේ පාර්ශ්වයෙන් ලිපියක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2019-09-12 දින සිට 2019-09-15 දින දක්වා හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආලෝකය සැපයීම පිළිබඳ ඉල්ලීමක් සිදුකර ඇත.
ඒ අනුව වීරකැටිය නිවසේ පැවති උත්සවයකට ආරක්ෂක පහන් සවිකරන ලෙස එම ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
එම ඉල්ලීමට අනුව තාවකාලිකව විදුලිය සපයා, ආරක්ෂක පහන් සවිකර, විදුලිය ලබාදී නැවත එම උපකරණ ගලවා ඉවත් කර තිබේ.
මේ අනුව, ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246යි ශත 57ක වියදමක් දැරීමට විදුලි බල මණ්ඩලයට සිදුව ඇත.
නමුත් තවමත් එම මුදල ගෙවා නොමැති බව විදුලි බල මණ්ඩලයට සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලය විසින් මෙම තොරතුරු මොහුට ලබාදී තිබේ.
නලින් හේවගේ මහතා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පැවසුවේ, මෙම විදුලි බිල්පත, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගලෝත්සවයට අදාළ විදුලි බිල්පතක් වන බව ය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් හේවගේ මහතා,
”කෙලිං වැඩ කරනවා නම් මිහින්තලේ කපපුවා වගේ කපන්න පුළුවන් විදුලි බිලක් අද ඔයාලට අපි ඉදිරිපත් කරනවා. මේ මගේ අතේ තියෙන්නේ, විශේෂයෙන් විදුලි බල මණ්ඩලයෙන් මම ගිය මාසෙ 26 වනදා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලලා අද දිනයේ මගෙ අතට පත් වෙච්ච 2019 නව වෙනි මාසෙ දොළොස් වෙනිදා ඉඳලා 2019 නවයයි පහළව දක්වා නාමල් රාජපක්ෂ මහත්තයගෙ කාල්ටන් නිවාසයේ පැවැත්වුණු ඒ විවාහ වීමේ මහා මංගලෝත්සවය. අලුතින් විදුලි රැහැන් ඇදලා, විදුලි පද්ධතියක් නිර්මාණය කරලා, ජෙනරේටර් දීලා මේකට විදුලිය දෙනවා. මේ නාමල් මහත්තයගේ වෙඩිං එකේ විදුලි බිල තියනවා රුපියල් විසි හය ලක්ෂ අසූ දෙදාස් දෙසිය හතළිස් හයයි ශත පනස් හතක්. ප්‍රශ්නෙ තියෙන්නේ මේ විදුලි බිල අද වෙනකං ගෙවලා නෑ. වලවුවක් තියෙන්නේ පන්සලට ඉහළින් වෙන්න බෑ. වලවුවක් තියෙන්න ඕනේ පන්සලට පහළින්. ඒ නිසා ඓතිහාසික පුදබිමක විදුලිය කපන්න පුළුවන් නම් ඊට පහළින් තියන වලවුවෙත් වහාම විදුලිය විසන්ධි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා”
මේ අතර, අදාළ ලිපිය පිළිබඳ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
එමගින් විමසා තිබෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන ලිපියට අනුව විදුලි බිල්පතක් ඉදිරිපත් කර තිබේද යන්න පිළිබඳවයි.
එසේ බිල්පතක් ඉදිරිපත් ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න සඳහන් කරන්නැයි ද අදාළ බිල්පතෙහි නිවැරදි තොරතුරු ලබාදෙන්නැයිද අදාළ ලිපියෙන් නාමල් ජාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා තිබේ.


