මහ බැංකුවෙන් අද විශේෂ චක්‍රලේඛයක්

ප්‍රතිපත්ති පොලී අනුපාත සමග බැංකු මගින් ලබාදී ඇති ණය සඳහා අයකෙරෙන සාමාන්‍ය පොලී අනුපාත අඩුකිරීම සඳහා නව චක්‍රලේඛයක් අද නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.
මූල්‍ය මණ්ඩලය පෙරේදා රැස්වී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ පොලී අනුපාත යම් කිසි ආකාරයට අඩුවීමක් සිදුව ඇති නමුත් එම අඩුවීමේ වේගය තවමත් ප්‍රමාණවත් නොවන බවයි.
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු තාවකාලිකව අත්හිටවනු ලැබූ විදේශ ණය ගෙවීම ආරම්භ කිරීම තුළින් මෙරට විදේශ විනිමය අනුපාතයට බලපෑමක් සිදු නොවන බවද ඔහු කියා සිටියා.
මේ අතර මාර්ගගත ක්‍රම හරහා නීත්‍යානුකූල යෝජනා ක්‍රම බව හඟවමින් ආයෝජකයන් නොමඟ යවා මුදල් ලබා ගැනීම් පිළිබඳ මහජන පැමිණිලි රැසක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
අදාළ යෝජනා ක්‍රමයට සහභාගි වන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සදහා ඔවුන්ගේ පෙද්ගලික මුදලින් මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකළහොත් එම අරමුදල් මහ බැංකුව විසින් අත්හිටුවන බව දැනුම් දෙමින් මෙම වංචනික ක්‍රියාව සිදු කරන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ එවැනි බද්දක් තම ආයතනය අයකර නොගන්නා බවයි.
එවැනි යෝජනා ක්‍රම පිළිබඳ සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් කටයුතු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

