මිනිස් වෙළඳාම් පැමිණිලි කිරීම සඳහා විශේෂ අංකයක්

මිනිස් වෙළඳාම් පැමිණිලි කිරීම සඳහා විශේෂ අංකයක් ඕමාන් රජය හඳුන්වා දී ඇති බව කම්කරු හා විදේශ අමාත්‍යංශය සඳහන් කරනවා.
සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සදහා ඕමාන් රාජ්‍යයට ගොස් එහිදී විවිධ හිරිහැරයන්ට ලක්වූ සිදුවීම් පසුගිය සමයේදී වාර්තා වූ අතර, එය අවම කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් ඕමාන් රජයත් එක්ව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එහි එක් පියවරක් වශයෙන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඕමාන් රාජ්‍යයේ ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටින තැනැත්තන්ට සිය පැමිණිලි ඕමාන් රාජකීය පොලිසියට සෘජුව ඉදිරිපත් කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දීමට ඕමාන් රජය කටයුතු කර තිබෙනවා.
ඕමාන් රාජකීය පොලිසියේ ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහි ජාතික කමිටුව (National Committee to Combat Human Trafficking- NCCHT) විසින් මෙම පැමිණිලි භාරගැනීම සිදුකරන අතර, ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.nccht.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +968 80077444 දරණ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ගාස්තු රහිත ඇමතුම් ලබාගැනීමෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ආයතනය විසින් ඉංග්‍රිසි, අරාබි ඇතුළු භාෂා 12න් පැමිණිලි භාරගැනීම සිදුකරන අතර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඕමාන් රජයෙන් සිදුකළ විශේෂ ඉල්ලීමක් අනුව සිංහල භාෂාවෙන්ද මිනිස් වෙළඳාම් සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් අවස්ථාව ලබාදී තිබෙනවා.
එසේ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඕමාන් පොලිස් නිළධාරීන් කඩිනමින් අදාළ වින්දිතයා එරට විශේෂ ආරක්ෂක නිවස්නයක භාරයට පත්කරන අතර, මිනිස් වෙළඳාම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

