රාජිතගේ රට ගමන් තහනම ඉවතට

රාජිතගේ රට ගමන් තහනම ඉවතට

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලික ව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (14) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහි දී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ව ඉවත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධ නොවූ බව සඳහන්ය.

ඒ අනුව අදාළ විදේශ ගමන් තහනම තාවකාලික ව ඉවත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, ඒ බව ආගමන හා විගමන බලධාරීන්ට දැනුම් දෙන ලෙස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත.