ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට

ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. .

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පිළිගත් ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව, මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සහ ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අදහසින් යුතුව මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ ආකාරයට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වා යම්කිසි සාධනීය මට්ටමකට මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇති අතර නව පනත්, නීති හදන ක්‍රමවේදයක් අප රටේ ඇති බවත් ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව රටේ සමස්ත ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර, ‘ත්‍රස්ත විරෝධී’ නමැති නව පනත් කෙටුම්පත කඩිනමින් මේ සතිය තුළ හෝ ලබන සතිය ඇතුළත ගැසට් කරන බවද සඳහන්.

අනතුරුව එය පළමුවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ සමග එය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට රටේ ජනතාවට සතියක කාලයක් ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

COMMENTS