චැනල් ෆෝ චෝදනාව ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශන කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස සඳහන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (17) සම්මත කිරීමට නියමිතය.
චැනල් ෆෝ නාලිකාව විසින් සිදුකරන ලද චෝදනා හේතුවෙන් සියලු පාර්ශ්ව අපහසුවට පත්වන බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම වැදගත් බවද එම යෝජනාව මගින් සඳහන් කර ඇත.
කාරක සභාවේ වාර්තාව මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද එම යෝජනාවේ සඳහන් වේ.
වජිර අබේවර්ධන , සංජීව එදිරිමාන්න, ඩී.වීරසිංහ , මේජර් ප්‍රදීප් උදුගොඩ , ගුණතිලක රාජපක්ෂ , සුමිත් උඩුකුඹුර, ජයන්ත කැටගොඩ , ජගත් සමරවික්‍රම, කරුණාදාස කොඩිතුවක්කු නීතිඥ මධුර විතානගේ , සමන්ප්රිය හෙරත්, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ඩී.බී හේරත්, කෝකිලා හර්ශනි , උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, උදයකාන්ත ගුණතිලක, එච්නන්දසේන, නාලක කෝට්ටෙගොඩ, කුමාරසිරි රත්නායක , සහ සී බී රත්නායක මෙම යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරු වෙති.

