බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් තොගයක් හමුවෙයි

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් තොගයක් හමුවෙයි

දෙවුන්දර සිට දකුණු දෙසින් කිලෝමීටර 540 ක් පමණ වූ ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 225 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරි ප්‍රකාශ කළේ එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 4500 කට අධික බවයි.

නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් ඊයේ (23) සිදු කළ මෙම වැටලීමේ දී එම යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැණුනා.

ඔවුන් අවුරුදු 30 සහ 48 අතර වයස්වල පසුවන ඔවුන් තිස්සමහාරාමය, කුඩාවැල්ල, කෝට්ටේගොඩ සහ මාමඩල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

හෙරොයින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයින් 05 දෙනා අද උදෑසන කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන ආ අතර, මත්කුඩු තොගය නිරීක්ෂණය සදහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන් සහ සාගල රත්නායක ද කොළඹ වරායට පැමිණ සිටියා.

රාජ්‍ය බුද්ධි අංශය ලබා දුන් තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු කෙරුණා.

වසරේ මේ දක්වා නාවික හමුදාව සිදු කළ මෙහෙයුම්වල දී රුපියල් මිලියන 15,160 අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.