හරින්ට සහ මනූෂට සජබ දොරවැසෙයි ද?

හරින්ට සහ මනූෂට සජබ දොරවැසෙයි ද?

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ තීරණය සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හරහා නිසියාකාර ව අනුමත වී නොමැති බවත්, එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් එම නෙරපීම සිදු කර තිබෙන බවත් ඔවුන්ගේ නීතිඥවරු අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කර තිබෙනවා.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමඟි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා යන මහත්වරු එම කරුණු දක්වා ඇති බව වාර්තා වෙනවා.

විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත් වුණා.

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් සාමාජිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම, නෙරපීම සඳහා සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය පැවරී තිබුණ ද, ඒ සඳහා විධිමත් විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

සිය සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට, අදාළ ලිපියේ එවැනි විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කර තිබෙන බවක් පෙනී නොයන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ බව වාර්තා වෙනවා.

සාමාජිකයෙකුගෙන් නිදහසට කරුණු විමසීමේ බලය හා විනය පියවර ගැනීමේ බලය මුළුමනින්ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත පැවරී ඇති බවත්, පක්ෂ නායකත්වයට ඒ සම්බන්ධයෙන් බලයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

තම සේවාදායකයාට එරෙහි ව විනය පියවර ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කළ බව සඳහන් කළ ද, ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළ බව වාර්තා වෙනවා.

සිය සේවාදායකයාට එරෙහි චෝදනා පත්‍රයට අත්සන් තැබීම විනය කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කර ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු පක්ෂයෙන් නෙරපීමට අදාළ තීන්දුව ගනු ලැබූ රැස්වීමට පක්ෂයේ මහලේකම්වරයා සහභාගි වී නොතිබු බවත් කියා ඇත.

එමෙන්ම නෙරපීමට අදාළ ලිපිය නිකුත් කර තිබෙන්නේ, පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා බවත්, ඔහුට එවැනි ලිපියක් නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව යම් සාමාජිකයෙකු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිමි වී තිබෙන බව සඳහන් කර තිබෙනවා.

සිය සේවාදායකයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ දී සාක්ෂි වශයෙන් යොදාගෙන තිබෙන්නේ, පුවත්පත් වාර්තා සහ වීඩියෝ දර්ශන පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ඔහුට සාධාරණ හා ස්වාධීන විනය පරීක්ෂණයක් නොලැබුණු බවත් අවධාරණය කර ඇත.

තම සේවාදායකයා සමඟි ජන බලවේගයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව සඳහන් කරමින් ඔහු නෙරපා හැරීමට කටයුතු කෙරුණ ද, ඔහු විසින් උල්ලංඝනය කර තිබෙන්නේ ව්‍යවස්ථාවේ කුමන ප්‍රතිපාදනය ද යන්න පැහැදිලි කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, ඒ අනුව පෙත්සම්කරුගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට වගඋත්තරකරුවන් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අනතුරු ව වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් මස 14 වැනිදා දක්වා කල් තැබුණ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.