පාඨලී ගේ රිය අනතුරු නඩුව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරනවා ද? නැද්ද ?

පාඨලී ගේ රිය අනතුරු නඩුව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරනවා ද? නැද්ද ?

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගයක් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද යන තීන්දුව නොවැම්බර් 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදු කිරීම පිළිබදව පාඨලි චම්පික රණවක මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා ගොනුකළ මෙම නඩුවට එරෙහිව රණවක මහතා රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එය අභියාචනාධිකරණය හමුවේ අද කැදවු අවස්ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කරුණු දැක්වුවා.

ඔහු පැවසුවේ මෙම අනතුරට අදාළ රථය පැදවු පෙත්සම්කරුගේ රියදුරු වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට දඩුවම් නියම කර ඇති බවයි.

මෙම සිද්ධියට රණවක මහතාගේ සම්බන්ධයක් නැති බවට එහිදි තීරණය කර තිබු බව ද ඔහු පෙන්වා දුන්නා.

එවැනි තත්ත්වයක් මත නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය නීති විරෝධි බවත් එම අධිචෝදනා පත්‍රය බලරහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ෆයිසර් මුස්තාෆා මහතා ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එහිදි පැවසුවේ අගතියට පත් පාර්ශවය කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ෂණයක් සිදුකළ බවයි.

එහිදි අනාවරණය වු සාක්ෂි මත අධිචෝදනා ගොනුකළ බව ද ඔහු පැවසුවා.

ඒ අනුව පෙත්සම්කරුගේ ඉල්ලීම ඉවත දමා ඔහුට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ ලබාදෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

ඒ අනුව පෙත්සමට අදාළ ලිඛිත දේශන ඇත්නම් ලබන 3 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන්න ලබන 15 වනදා ප්‍රකාශයට පත් කිරීමටත් අභියාචනාධිකරණය නියම කළා.