2024 අයවැය ඉදිරිපත් කිරීම මේ මස 13 වැනිදා

2024 අයවැය ඉදිරිපත් කිරීම මේ මස 13 වැනිදා

2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළා.

2023 නොවැම්බර් මස 07 වැනි අගහරුවාදා පෙරවරු 09.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙරවරු 10.30ට දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා (ප්‍රශ්න දෙකක්) කාලය වෙන් කර තිබෙනවා.

2023 නොවැම්බර් මස 08 වැනි බදාදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08ක්) සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙ‍රවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව වාර්තා වෙනවා.

එදිනම පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත, (දෙවැනි වර කියවීම) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

2023 නොවැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමෙන් අනතුරු ව පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව 2023 මුදල් වර්ෂය සදහා රුපියල් බිලියන 231.5කට අදාළ ව අනුමැතිය ලබාගැනීම සදහා අංක 01 දරණ පරිපූරක ඇස්තමේන්තුව ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන්පසු පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සඳහා කාලය වෙන් කර ඇති බව වාර්තා වෙනවා.

2023 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරු ව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතයි.

අනතුරු ව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමට නියමිතවනවා.

එදිනම පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

විවාදයෙන් අනතුරු ව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

අයවැය විවාදය

නොවැම්බර් 13 වැනි සඳුදා 12.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අයවැය කථාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්වරිය නිවේදනය කළා.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අඟහරුවාදා දා පස්වරු 06.00ට පැවැත්වීමට නියමිත අතර, කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට ද මෙහි දී තීරණය කර තිබෙනවා.

2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 06.00ට පැවැත්වීමට නියමිතයි.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 09.30 සිට පස්වරු 06.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර, ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න් සෑම දිනකම පස්වරු 06.00 සිට පස්වරු 06.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙන බව වාර්තා වෙනවා.