ජන – නිවාස සංගණනය ඇරඹේ

ජන – නිවාස සංගණනය ඇරඹේ

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති කාර්යාලයෙන් ඊයේ (01) පෙරවරුවේ ආරම්භ විය.

ඒ අනුව මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැඟිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරුණු අතර මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ නවීන තාක්ෂණය යොදා ගනිමින් ටැබ්ලට් පරිගණක සහ අන්තර්ජාලය භාවිත කිරීම මෙන්ම භූ-අවකාශීය තාක්ෂණයන් සමඟ පරිගණක ආධාරක පුද්ගල සම්මුඛ සාකච්ඡා (CAPI- Computer Assisted Personal Interviewing) පැවැත්වීමයි.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර අවසන් වරට මෙම සංගණනය පවත්වනු ලැබූයේ 2012 වසරේදීය.

ශ්‍රී ලංකාවේ නීතිමය පදනමක් මත පැවැත් වූ මුල්ම ජන සංගණනය 1871 මාර්තු මස 27 වැනි දින පවත්වා ඇති අතර එය දකුණු ආසියාතික රටවල් අතර ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය විය.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට මෙන්ම රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වන ජන සංඛ්‍යාව එහි භූගෝලීය ව්‍යාප්තිය, ජනවාර්ගික ව්‍යාප්තිය හා ජනගහනයේ විවිධ ප්‍රජා විද්‍යාත්මක සමාජීය ලක්ෂණ මෙන්ම නිවාස පිළිබඳ තොරතුරු සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ප්‍රධාන දත්ත මූලාශ්‍රයන් ලෙස ලබා ගැනීම මෙම ජන සංගණනයේදී සිදු කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලංකාවේ සියලු ගොඩනැඟිලි සඳහා අංකයක් ලබා දීම, සියලු ගොඩනැඟිලි ඒකක සඳහා ගොලීය ස්ථාන නිර්ණායක (GPS පාඨාංක) ලබා ගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ඩිජිටල්කරණය කරන ලද (Digitized) සිතියමක් ලබා දීම මෙම ජන සංගණනයේදී සිදු කෙරේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.පී. අනුර කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.