රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම අද සංකේත වැඩවර්ජනයක

රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම අද සංකේත වැඩවර්ජනයක

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම අද (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

මේ බව තීරණය කෙරුණේ, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දී ඊයේ පැවැත්වූ සාකච්ඡාවක දී ය.

මේ අතර, උපයන විට බදු ඇතුළු රජයේ බදු ප්‍රතිපත්තිය අසාධාරණ හා අත්තනෝමතික බව පවසමින් ඊට විරෝධය පා වෘත්තියවේදීන් ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ (01) කොළඹ ලෝටස් පාරේ දී විරෝධතාවක් පැවැත්වීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය, රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සහ ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තියවේදී සංගම් කිහිපයක් ඊට එක් විය.

විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය දෙසට ගමන් කිරීමට සැලසුම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය දෙසට යාම වළක්වාලමින් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන තිබූ නිසා ඔවුහූ ලෝටස් පාරේ දී විරෝධතාව පැවැත්වූහ.

ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම ලෝටස් පාර අවහිර වී තිබිණි.

පොලීසිය අවස්ථා කිහිපයකදීම අධිකරණ නියෝගය විරෝධතාකරුවන් වෙත ලබා දෙන ලදි.

නමුත් විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය දෙසට යාමට උත්සාහ කළ අතර, පසු ව පොලීසියේ සම්බන්ධීකරණයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක් එම ස්ථානයට පැමිණ පිරිස සමඟ සාකච්ඡා කළාය.

සිය ගැටලු ලිඛිත ව ඇයට ඉදිරිපත් කළ විරෝධතාකරුවෝ පසු ව එම ස්ථානයෙන් විසිර ගියහ.

මේ අතර, වැටුප් ගැටලුවට විරෝධය පා දුම්රිය කම්කරු එකමුතුව දහවල් කෑම පැයේ දී මරදාන දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්විය..

මේ අතර, රුපියල් 20,000ක අවම දීමනාවක් ඉල්ලා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සේවකයන් රත්මලාන කාර්යාලය අසලදී ඊයේ විරෝධතාවක් සංවිධාන කර තිබිණි..

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධාන කළ විරෝධතාවක් රජයේ මුද්‍රණාලය ඉදිරිපිට දී ඊයේ පැවැත්වුණේ, ඉදිරි අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලමිනි.