2024 වසරේ මුල් මාස කිහිපය අමාරු වෙයි

2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ 2024 වසරේ මුල් මාස කිහිපය දුෂ්කර වියහැකි බවය.
“2024 වසරේ පළමු මාස කිහිපයත් දුෂ්කර වෙන්න යන්නේ. ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගන්න පුළුවන්. 2018 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 94.5ක්. 2022 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 77ට බැස්සා. 2023 දළ දේශීය නිෂ්පාදනය අ.ඩො.බි. 85ක් වගේ. අපි තවම 2018 තත්ත්වයට ඇවිත් නැහැ. ලබන වසරේදීත් ඒ තත්ත්වයට එන එකක් නැහැ. 2025 සිට තමයි අපේ ගමන යන්න වෙන්නේ. මෙය ඊට සූදානම් වීමක්.”
මේ අතර තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2025 වසරේ සිට මෙරට ආර්ථිකය ඉහළ නැංවීම සඳහා සිදුකෙරෙන ක්‍රියාවලියේ මූලික අඩිතාලම ලෙස මෙම අයවැය හැදින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවය.
රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.
දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

