කෝප් සභාපති රංජිත්ට විශ්වාසභංගයක්

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ඉදිරි සතිය තුළ කතානායකවරයා වෙත භාරදෙන බව සමඟි ජනබලවේගය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර හස්ථ සංඥා මගින් සිදු කළ සන්නිවේදනයන් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව ඇති අතර, එම සිද්ධිය පාර්ලිමේන්තුවේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා.
ඒ අනුව කෝප් කමිටු රැස්වීම් නැවත දැනුම් දෙනතුරු නවතා දැමීමට ද කථානායකවරයා තීරණය කළා.
කෝප් කමිටු සභාපතිවරයෙකු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක ලිංගික හිංසනයකට ලක්කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට හෙළි කළා.
මේ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ දී අදහස් පළ වූ අතර, අදාළ චෝදනාව එල්ලවී ඇත්තේ කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට බව එහිදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා අනාවරණ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර 2017 වර්ෂයේ සිට 2018 මැයි 31 වැනිදා දක්වා මහනුවර ප්‍රදේශයේ ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වී මුදල් ලබා ගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මාසයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටු රැස්වීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා ඇති නමුත් එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගෙන් ලැබී තිබුණේ, නොමග යවන සුළු පිළිතුරුයි.
වසර ගණනාවක් පුරා මෙම ව්‍යාපෘතිය සුදු අලියෙක් බවට පත්ව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක සභික තිලිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් අද පැමිණියා.
ඔවුන් එසේ පැමිණියේ, වසර 07 කට පෙර මහනුවර, කටුගස්තොට ප්‍රදේශයෙන් බදු පදනම මත ලබාගෙන ඇතැයි කියන අක්කර 05 කට ආසන්න ඉඩම නිරීක්ෂණය කිරීම සඳහායි.

