රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක්

රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක්

‘රට බංකොළොත් කිරීමට වගකිවයුතු රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරනු.!’ යන මැයෙන් සර්වපාක්ෂික අරගලකරුවෝ නම් සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්කිරීමේ වගකීම භාරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා (14) තීරණය කරනු ලැබුවා.

ඒ අනුව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව ජන අරගලයෙන් පන්නා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කළ යුතුය යන්නයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රටේ මිලියන 21ක ජනතාව ගෑස් හිඟයෙන්, ඉන්ධන හිඟයෙන්, විදුලි කප්පාදුවෙන්, බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටියදී එකමුතු නොවූ පාර්ලිමේන්තුවක් මේ රට බංකොළොත්භාවයට පත්කළ මෙම කල්ලියට එරෙහිව එකමුතු වේ යැයි ඔවුන් කිසිසේත් විශ්වාස නොකරන බව‍යි.

එමෙන්ම මෙවන් තීරණාත්මක අවස්ථාවකදී රටේත්, රටේ ජනතාවගේ යුක්තිය වෙනුවෙනුත් සටන් කළ හැකි දේශපාලන ස්වාධීනත්වයක්, පෞරුෂයක් හැකියාවක් හෝ අභිලාෂයක් සහිත දේශපාලනඥයන් කිසිවෙකු වත්මන් පාර්ලිමේන්තුව තුළ ඇතැයි ඔවුන් විශ්වාස නොකරන බවත්, එසේ සිටිනවා නම් රට විනාශයට ගෙන ගිය බවට රටේ උත්තරීතර නීතිය ඉදිරියේ හෙළිදරව් වූ පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එන මෙන් එම සංවිධානය අභියෝග කරන බවත් එම නිවේදනයේ සඳහන්.

COMMENTS