කලාපයේ රටවල් හා එක්ව ක්‍රියා කළ යුතුයි – ජනපති

කලාපයේ රටවල් හා එක්ව ක්‍රියා කළ යුතුයි – ජනපති

දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

කොළඹ පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති මෙම අදහස් පලකළා.

දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම මෙහි දී ඉදිරිපත් කළ ජනාධිපතිවරයා කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද යෝජනා කළා.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති තරඟකාරි සහ ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් මෙන්ම බලශක්ති පරිවර්තනයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපති ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ වන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වුවා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස අක්කර මිලියන 02ක පමණ භූමි ප්‍රමාණයක්, එම ඉඩම් හිමි ගොවීන් සඳහා සින්නක්කරව ලබාදීමට රජය තීරණය කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මහා පරිමාණ නවීන කෘෂිකාර්මික ව්‍යවසායන් ඇති කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිළි කරනු ලැබුවා.

කෘත්‍රිම බුද්ධිය වෙත ප්‍රවේශවීම ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය මේ වනවිට අරමුදල් වෙන් කර ඇති බව ජනාධිපති වැඩිදුරටත් සඳහන් කළා.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සංචාරක කලාපයක් ඇති කිරීමේ සැළසුම් පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය කැරිබියන් දූපත් වලට වඩා විශාල විකල්පයක් වනු ඇති බව ද කියා සිටියා.

අපේක්ෂා කරන කලාපීය ආර්ථික වර්ධනය ඇති කර ගැනිම සඳහා සක්‍රීයව දායක වන ලෙස තරුණ ව්‍යවසායකයින්ගෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

COMMENTS