සිසුන්ට පොලීතින් කැවූ විදුහල්පතිට මාරුවක්

සිසුන්ට පොලීතින් කැවූ විදුහල්පතිට මාරුවක්

පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බල කළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට් සහ පත්තර කඩදාසි බලහත්කාරයෙන් කැවීම සම්බන්ධයෙන් පුවතක් නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඊයේ වාර්තා වුණා.

පාසල පොලිතීන්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බැවින්, අදාළ සිසුන්ට එම ලන්ච් ෂීට් හා පත්තර කඩදාසි කන ලෙස විදුහල්පතිවරයා බලකර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ සිදුවීමට මුහුණදුන් පාසල් සිසුන් දෙදෙනෙක් ඊයේ උදෑසන වන විටත් නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අනාවරණය වූ බවයි.

සිදුවීමට මුහුණදුන් අනෙක් සිසුන් පස්දෙනා අද (23) දින පාසල් පැමිණ ඇති බව ද පැවසු අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී නාවලපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ලැබී ඇතැයි කියා සිටියා.

පස්බාගේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇති බව ද පැවසු අමාත්‍යවරයා එම පරීක්ෂණ කටයුතුවල පහසුව වෙනුවෙන් මෙලෙස අදාළ විදුහල්පතිව ස්ථාන මාරුකර ඇති බව වැඩිදුරටත් පැවසීය.

COMMENTS