වැඩේ ගැස්සුණ පාරිභෝගික අධිකාරියේ නිලධාරින්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් පිරිසක් රුපියල් ලක්ෂ 5ක් අල්ලස් වශයෙන් ඉල්ලූ පුවතක් වාර්තා වෙනවා.
මෙම අල්ලස ඉල්ලා තිබෙන්නේ චොක්ලට් අලෙවිසැල් හිමිකරුවෙකුට එරෙහි නඩුවක් සමථයකට පත් කිරීමටයි.
අලෙවිසැලේ හිමිකරු රුපියල් ලක්ෂයක් නිලධාරින්ට ලබාදී ඇති තිබෙනවා.
අල්ලසට හිලව් වශයෙන් චොක්ලට් තොඟයට අදාළ ලේඛන විනාශ කිරීමට කටයුතු කරන බව නිලධාරින් පොරොන්දු වන දුරකතන හඬ පටයක් ද මේ වනවිට නිකුත්ව අවසන්.
මහරගම පිහිටි චොක්ලට් අලෙවි සැලකට පසුගිය අගෝස්තු මස 19 වන දා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් පැමිණ කළ පරීක්ෂාවකින් පසු චොක්ලට් හා ටොෆි තොගයක් සිය භාරයට ගෙන තිබුණේ ඒවායේ මිල හා ආනයනකරුගේ නම ප්‍රදර්ශනය නොකිරීමේ චෝදනාවටයි.
රුපියල් ලක්ෂ 30කට ආසන්න චොකලට් සහ ටොෆි තොඟයක් මුද්‍රා තබා නඩු පැවරීමට අදාළ නිලධාරින් කටයුතු කළා.
අලෙවිසැලේ හිමිකරු ප්‍රකාශ කළේ නඩු භාණ්ඩ ලෙස ද චොක්ලට් සහ ටොෆි සැලකිය යුතු ප්‍රමාණයක් නිලධාරන් රැගෙන ගිය බවයි.
කෙසේ වෙතත් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් පැමිණ එම නඩුව ලිහිල් කිරීම සඳහා මුදල් ඉල්ලා සිටි බව අලෙවිසැලේ හිමිකරුගේ බිරිඳ ප්‍රකාශ කළා.
අදාළ මුදල් ලබා දීමෙන් පසු මුද්‍රා තැබූ චොක්ලට්වලින් තොගයක් යළි විකිණීමට ගන්නා ලෙසට වැටලීමට පැමිණි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙකු අලෙවිසැලේ හිමිකරුට පවසා ඇත.
එම නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ද රැගෙන ගිය චොක්ලට් තොඟයෙන් කිහිපයක් පමණක් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

