ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60%ක මාසික ආදායම පහළට

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60%කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයට අනුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව මෙරට පවුල්වලින් 60.5%ක මාසික ආදායම අඩුවී ඇති අතර, පවුල් 91%ක මාසික වියදම වැඩි වී ඇති බව හෙළිව තිබෙනවා.
වර්තමානයේ පවුල්වලින් 3.4%ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් 36.6%ක ආදායම නොවෙනස්ව පවතින බව එහි සඳහන්.
කෙසේ වෙතත් මෙලෙස ආදායම් අඩු වූ පවුල්වලින් 73.6%ක් ආදායම් වැඩිකර ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
පවුල්වලින් 6%ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයේදී හෙළිව තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ආදායම් අඩු වූ පවුල්වල පිරිස් ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම සහ පුද්ගලයින්ගෙන් ආහාර හා මුදල් ඉල්ලා ගැනීම හරහා එදිනෙදා වියදම් පියවර ගෙන ඇති බවටයි.
මෙරට පවුල්වලින් 22%ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය වී පීඩාවට පත්ව සිටිනවා.
ආර්ථික අර්බුදය හමුවේ පුද්ගලයින් 14.2%කට රැකියා අහිමි වී ඇති අතර, ඉන් බහුතරය පිරිමි පුද්ගලයින් බව ද අනාවරණය වී තිබෙනවා.
රැකියාවලට නොපැමිණීම, වැඩකරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපා හැරීම සහ ආදායම් අහිමි වීම වැනි කරුණු හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුතු පුද්ගලයින් හරි අඩකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්ද සිදුව ඇති බව එම සමීක්ෂණයේදී හෙළි වුණා.
මෙම තත්ත්වය මත අධ්‍යාපනයට ද බාධා එල්ල වී ඇති අතර, වයස අවුරුදු 3ත් 21ත් අතර දරුවන් සහ තරුණයින්ගෙන් සියයට 54.9%ක් මෙහි එම බලපෑමට මුහුණ දී තිබෙනවා.
එම බාධා හේතුවෙන් දරුවන්ගෙන් 53.2%ක් ලිපි ද්‍රව්‍ය සඳහා සිදුකරන වියදම් අඩු කිරීම හා ඒවා මිලදී ගැනීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, 44%ක් අලුතින් නිල ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් ද වැළකී සිට ඇති බව ද අනාවරණ වුණා.
මේ අතර 2023 වසරේ මාර්තු මාසයෙන් පසුව මෙරට ජනගහනයෙන් 29%ක් රෝගාබාධවලට වැඩි වශයෙන් ගොදුරු වී ඇති අතර, ඉන් 7%ක් ප්‍රතිකාර ක්‍රම වෙනස් කර ඇති බව ද වාර්තා වනවා.
එලෙස ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ රෝගීන්ගෙන් 35.1%ක් ප්‍රතිකාර කරන ස්ථාන ද වෙනස් කර ඇති අතර, 33.9%ක් ඖෂධ භාවිතයට යොමුව ඇත්තේ සිය රෝගී තත්ත්වයන් උත්සන්න වූ අවස්ථාවේදී බවයි මෙම සමීක්ෂණයේදී තවදුරටත් හෙළිව ඇත්තේ.
ප්‍රතිකාර වෙනස් කළ රෝගීන්ගෙන් 81.7%ක්ම එම වෙනසට මූලික හේතුව ලෙස දක්වා ඇත්තේ ප්‍රමාණවත් තරම් මුදල් නොමැති වීමයි.

