වසර 90ට පසු අනගාරික ධර්මපාල තුමන්ගේ භෂ්මාවශේෂ හමුවෙයි

මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අනගාරික ධර්මපාල තුමන්ගේ භෂ්මාවශේෂ වසර 90 කට පමණ පසු හමුවී තිබෙනවා.
අනගාරික ධර්මපාල තුමන් සිරි දේවමිත්ත ධම්මපාල නමින් පැවිදි වී සිටියදී අපවත්වූ අතර මෙම භෂ්මාවශේෂ හමුවී ඇත්තේ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමියෙන්.
වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වැනිදා මාතර හිත්තැටිය ප්‍රදේශයේදී දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් උපත ලද අනගාරික ධර්මපාල තුමන් මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළා.
පසු කාලීනව ඉන්දියාවේ බුද්ධගයාව බේරාගැනීමේ සටනද ආරම්භ කළ අනගාරික ධර්මපාල තුමා 1914 දී කල්කටාවේදී නිවාස අඩස්සියට පත්වන අතර වසර 7කට පසු නිදහස ලබා ගත්තේ 1921 දීයි.
පසුව නැවතත් මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් කටයුතු කළත් මෙරට ජනතාවගේ ක්‍රියාකලාපය හේතුවෙන් කළකිරීමට පත්වූ අනගාරික ධර්මපාල තුමා වර්ෂ 1931 ජුලි මස 13 වැනිදා ඉන්දියාව බලා ගොස් සිරි දේවමිත්ත ධම්මපාල නමින් සසුන් ගතවුණා.
උන්වහන්සේ 1933 වසරේ අප්‍රේල් මස 29 වැනිදා ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරයේදී අපවත් වුණේ වයස අවුරුදු 69දී.
උන්වහන්සේගේ දේහය මෙරටට වැඩම කිරීමට කටයුතු යොදා තිබුණද ඉන්දියාවේදීම ආදාහන කටයුතු සිදුකෙරුණා.
එම භෂ්මාවශේෂවලින් කොටසක් ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරයේ පැත්පත් කර ඉතිරි කොටස ශ්‍රී ලංකාවට වැඩම කරවා තිබෙනවා.
වසර 90 කට පමණ පසු එම භෂ්මාවශේෂ තැන්පත් කළ මංජුසාව හමුවී තිබුණේ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමියෙන්.
ඒ ධර්මපාල තුමන්ගේ පැවිදි දිවියේ පිළිරුවක් ඉදිරිකිරීම සඳහා එම විහාර භූමියේ ඉදිකර තිබූ පැරණි අනගාරික ධර්මපාල පිළිරුව ප්‍රතිසංස්කරණය කිරීමේදීයි.
ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස හිමියන් සඳහන් කළේ ධර්මපාල තුමන්ගේ භෂ්මාවශේෂ සහිත මංජුසාවද තැන්පත් කර සිරි දේවමිත්ත හිමියන්ගේ පිළිරුව ස්ථානගත කරන බවයි.

