7 දෙනෙකු දිවි නසා ගත් අනත්වාදී කල්ලිය සොයා පොලිසිය රට පීරයි

ආගමික දේශනා පවත්වමින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ දර්ශනය විකෘති කරමින් විවිධ මත පළ කරමින් සියදිවි නසා ගැනීම ප්‍රවර්ධනය කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති දේශකයාගේ අනුගාමිකයන් සහ ඔහුගේ දේශනාවලට සහභාගි වූවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (05) පුළුල් විමර්ශනයක් ආරම්භ කළේ ය.
ඒ, රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ පහළොස් දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසිනි.
මින් එක් කණ්ඩායමක් සියදිවි නසාගෙන මිය ගිය හත්දෙනාගේ වෛද්‍ය වාර්තා ඔස්සේ විමර්ශනයක් සිදු කරන අතර ‘යූ ටියුබ්’, මුහුණු පොත් පිටුව ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වුණු වීඩියෝ පට ද මෙම විමර්ශනයට යොමු කෙරේ.
එමෙන් ම මෙම දේශකයාගේ දේශන පවත්වාගෙන යාම සඳහා සම්බන්ධ වුණු පිරිස් හා ඔහුගේ අනුගාමිකයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීම සඳහා අනෙක් පොලිස් කණ්ඩායම යොදවා තිබේ.
මියගිය දේශකයාට සිටි අනුගාමිකයන් සහ සම්බන්ධ වුණු පිරිස් කොපමණක් සිටිත් ද ඔවුන් කුමන පළාත්වල අය ද යන්න සොයා ගැනීම මෙම විමර්ශනයට අනුව මුලින් ම සිදු කෙරේ.
පසුගිය දා වාර්තා වූ සැක කටයුතු මරණ හත සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකෙරෙන අතර මෙම හත්දෙනා එකම ආකාරයට එක ම විස ද්‍රව්‍යයක් පානය කර සිය දිවි හානි කර ගැනීම නිසා මෙම විසද්‍රව්‍ය දේශකයා විසින් තවත් අනුගාමිකයන්ටද බෙදා දී ඇතැයි යන සැකය මත මෙම විමර්ශනය සිදු කෙරෙනු ඇත.
එමෙන් ම මියගිය අන්තවාදී දේශකයාගේ මඟ යමින් ඔහුගේ අනුගාමිකයන් ද මෙවන් දේශන ඉදිරියට පැවැත්වීමට ඇති ඉඩකඩ අහුරාලීම සඳහා මෙම විමර්ශන සිදු කෙරෙනු ඇත.
අහඹු ලෙස තැන තැන සිදුවන මෙම සියදිවි හානි කර ගැනීම රැල්ලක් බවට පත් වීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත මෙම විමර්ශනය අරඹා තිබේ.

