තැන තැන සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනෙකු මරුට

තැන තැන සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනෙකු මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (06) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඇල්පිටිය – අම්බලන්ගොඩ මාර්ගයේ 09 කණුව අසලදී යතුරුපැදියක් කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

එම අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනාම මිය ගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, බද්දේගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි කාන්තාවකි.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පළගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කොළඹ – මීගමුව මාර්ගයේ තුඩැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් ජාඇල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 48 හැවිරිදි පුද්ගලයෙක් හා 46 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ගිරානේගම, වටගල හන්දිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.