යුක්තියට පොලීසියත් කොටු වෙයි

යුක්තියට පොලීසියත් කොටු වෙයි

යුක්තිය මෙහෙයුම අතරතුර සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10) ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකය මඟින් අදාළ වැටලීම සිදුකර තිබිණි.

එහිදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිලධාරියා 2021 වසරේ සැප්තැම්බර් මස පොලිස් සේවයට බැඳී මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත.

ඔහු නිවාඩු ලබා පිටව ගොස් සිට ඇති අතර, පසුව අසනීප බව දන්වා සේවයට වාර්තා නොකර සිටිය දී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර, ‍‍යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (11) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 23 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබේ.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 295යි මිලිග්‍රෑම් 500ක්, අයිස් ග්‍රෑම් 685ක් මිලිග්‍රෑම් 930 සහ මත්පෙති 665ක් ආරක්ෂක අංශ භාරයට ගත් බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

COMMENTS