සිසුන් වෙනුවෙන් ලබන මාසයේ සිට සියලු දින සඳහා වාර ප්‍රවේශපත්

සිසුන් වෙනුවෙන් ලබන මාසයේ සිට සියලු දින සඳහා වාර ප්‍රවේශපත්

පාසල් සීසන් ටිකට් පත් අහෝසි කර ඇතැයි සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවත්, එළඹෙන පෙබරවාරි මාසයේ සිට සියළුම දින සඳහා නියමිත පරිදි පාසල් වාර ප්‍රවේශපත් ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

ජනවාරි මාසයේ පාසල් නිවාඩු බැවින් එකදු දිනයක් හෝ පාසැල් නොපැවැත් වූ බැවින් වාර ප්‍රවේශපත් නිකුත් නොකළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් සඳහා සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ප්‍රවේශපත් නිකුත් කළ බවද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

සෑම රජයක්ම දශක 06ක් තිස්සේ පාසල් සිසුන්ට සීසන් ලබා දුන්නා. ඊට අමතරව පාසල් , කාර්මික විද්‍යාල, සහ විශ්ව විද්‍යාල සිසුන්ටත් මෙම අනුග්‍රහ වාර ප්‍රවේශපත් ලබාදෙනවා.

මේ සඳහා භාණ්ඩාගාරය ඉතා විශාල වියදමක් දරනවා. කැඩිච්ච මාර්ග අලුත්වැඩියාව සඳහා වෙන් කර තිබෙන්නෙත් ඊට වඩා අඩු මුදලක්. එම නිසා මෙය ඉතා අරපරිස්සමින් සිදු කළ යුතුයි.

ජනවාරි මාසයේ එකම දිනයක්වත් පාසල් පැවැත් වුණේ නැහැ. ඒම නිසා චක්‍රලේක වලට අනුව සීසන් ටික්ට් පත් නික්තු කරන්න අයිතියක් නැහැ. එසේ වුවහොත් ලංකා ගමනා ගමන මණ්ඩලයට මේ සඳහා වග කියන්න වෙනවා. නමුත් උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට සීසන් ටිකට් පත් නිකුත් කර තිබෙනවා.

එළඹෙන පෙබරවාරියේ සිට නියමිත පරිදි සීසන් ටිකට් පත් ලබා දෙනවා. සිසු සැරිය ව්‍යාපෘතිය සඳහාද ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 790ක් පුද්ගලික බස් රථ 710ක් යොද ගෙන තිබෙනවා.