ත්‍රෛනිකායික මහානායක හිමිවරු ජනපතිට ලියයි

බුදුදහම විකෘති කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.
පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම ලිඛිත දැනුම්දීම සිදුකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෑතකම සිදු වූ සිදුවීම වූයේ “අවලෝකිතේශ්වර” නමින් බුදු දහමට අවමන් සහගතවන ප්‍රකාශයන් සිදුකළ පුද්ගලයෙකුගේ ක්රියාකලාපයයි.
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් මෙම පුද්ගලයා පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියා.
මහින්ද කොඩිතුවක්කු නැමැති මෙම පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේද සංසරණය වූවා.
ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත් වුණා.
එමෙන් ම මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (13) පියවර ගත්තා.

