අලුත් චක්‍රලේඛයක්

අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා සීමා කිරිම ඇතුළු රජයේ වියදම් පාලනය කරමින් මුදල් අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ යටතේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පමණක් දැරිය යුතුයි.

එමෙන්ම චක්‍රලේඛ මගින් අවසර දී ඇති ප්‍රවාහන පහසුකම් වලට අමතරව සාමාන්‍ය රාජකාරි සඳහා පැමිණිමට වෙනත් ප්‍රවාහන පහසුකම් සදහා රජයේ අරමුදල් භාවිත නොකළ යුතු බවද එහි සඳහන්.

විදුලිය, ජලය, දුරකතන සේවා, ඉන්ධන, ගිවිසුම්ගත සේවාවන් හා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම ඇතුළු කාර්යාලීය අවශ්‍යතා සහ උපයෝගීතා සේවා වියදම් පාලනය කරගන්නා ලෙසද මෙම චක්‍රලේඛයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම නිල වාහන හිමි නිලධාරීන්ට සහ ඒ වෙනුවට ප්‍රවාහන වියදම් දීමනා ලබා ගන්නා නිලධාරීන්ට කිසිදු අවස්ථාවක සංචිත වාහන භාවිත කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවද මෙමගින් අවධාරණය කර තිබෙනවා.

ඉන්ධන වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එහි සදහන්.

විදේශීය අනුග්‍රහක ආයතන විසින් පූර්ණ පිරිවැය දරනු ලබන්නේ නම් පමණක් හැර, විදේශ අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ සංචාර සදහා නිලධාරීන් සහභාගී කිරීම ද නොකළ යුතුයි.

හැකි සෑම විටම මාර්ගගත ක්‍රමය ඔස්සේ, රැස්වීම් වැඩමුළු සම්මන්ත්‍රණ සහ පුහුණු සැසි පැවැත්විය යුතු බවද එහි සඳහන් වනවා.

භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියකින් තොරව රජයේ අවශ්‍යතා සදහා ගොඩනැගිලි කුලියට ගැනීම ද මේ යටතේ තහනම් කර තිබෙනවා.

දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන නව ව්‍යාපෘති ආරම්භ නොකළ යුතු බවට ද නව චක්‍රලේඛය මගින් දන්වා තිබීම විශේෂත්වයක්.

කළමාණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීම සදහා හෝ නව බදවාගැනීම් සිදු නොකළ යුතු බව ද එහි සදහන්.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති සීමාවන් තුළ අත්තිකාරම් ගිණුම් කටයුතු පවත්වාගෙන යායුතු බවට ද නව චක්‍රලේඛනයෙන් උපදෙස් ලබා දි තිබෙනවා.