හින්දු බැතිමතුන් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදයි

අස්වනු නෙළීමේ උත්සවය හෙවත් හිරු දෙවියන්, මහී කාන්තාව, වැසි දෙවියන් මෙන්ම අස්වනු නෙළාගැනීමට බොහෝ සෙයින් උදව් උපකාර කළ ගවයන් සඳහා ස්තුති කිරීම අද (15) පැවැත්වෙන තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අරමුණ වේ.
සූර්ය වන්දනාව මුලික කරගත් අස්වනු නෙලීමේ මංගල්‍යය ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය දකුණු ඉන්දියාවෙන් ආරම්භ වු අතර මේ වන විට එය ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබයි.
නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි.
ස්වභාවධර්මය සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතුරින් මේ උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.
හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකියි.
වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද අලුත් උක් ගසකින් ගත් පැණි ද එළකිරි ද යෙදු කිරිබත්ද මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක්ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර කිහිපයකි.
තෛපොංගල් උත්සවය මෙරට හින්දු බැතිමතුන්ගේ ද ඉතා වැදගත් ආගමික සංස්කෘතික උළෙලක් ලෙසයි සැලකෙන්නේ.

