සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් රෝහල්වල අද වැඩ නවතී

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද ලබා දෙන ලෙස රජයට බල කරමින් අද (16 ) උදෑසන 6.30 සිට දිවයින පුරා රෝහල්වලදී පැය විසිහතරක සංකේත වැඩ වර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.
කෙසේ වෙතත් රෝගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන පිළිකා, ළමා, මාතෘ, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල ස්වෙච්ඡා පදනම යටතේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් පවසයි.
අනවශ්‍ය මැදිහත්වීම් සිදුකර ආරක්ෂක අංශ යොදවා කටයුතු කළහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට සන්ධානයේ විධායක සභාව තිරණය කර ඇතැයි ද ඒ මහතා පැවසීය
මෙම එක්දින වැඩ වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, භෞත චිකිත්සකයන්, වෘත්තීය චිකිත්සකයන්, ඖෂධවේදීන්, වාග් චිකිත්සකයන්, විකිරණ ප්‍රතිකාරවේදීන්, ශ්‍රවණවේදීන් ඇතුළු සේවාවන්, හෙද සේවාවන්, අතුරු වෛද්‍ය සේවයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවාව, අක්ෂි තාක්ෂණවේදීන්, දන්ත කාර්මිකයන්, විද්‍යුත් නිකර්ෂණ රේඛන ශිල්පීන්, විද්‍යුත් තන්තු රේඛන ශිල්පීන්, පාසල් දන්ත චික්තසකයන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, සෞඛ්‍ය පරිපාලන නිලධාරී සේවය, ආහාර හා ඖෂධ පරීක්ෂණ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, සැලසුම් හා වැඩසටහන් නිලධාරී , සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව, සෞඛ්‍ය ගිලන් රථ රියැදුරු සේවාව, සුළු සේවා පාලක, උපස්ථායක, අරක්කැමි, දුරකථන ක්‍රියාකරු, නිවාස පාලක, රසායනාගාර සේවා සහායක යන සියලු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 72 ක් එක්ව සිටී.
“පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ලෙස අපි ජනතාවගෙන් සමාව අයදිනවා. අපට තවමත් සාකච්ඡාවක් ලබාදී නැහැ. අපි මේ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඕනෑම මොහොතක සූදානම්” යැයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පැවසීය.

