දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කර තිබේ.

ඒ අනුව, දුමින්ද සිල්වාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර ඇත.

ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබ ඇත.

දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාවලියේදී හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර ඇති බව ද එහිදී සඳහන් කර ඇත.

එමෙන් ම, ඔහුට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කරුණු අධිකරණයට පිළිගත නොහැකි තත්ත්වයක පවතින බව ද තීන්දුවේ සඳහන් කර තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණේ 2016 සැප්තැම්බර් 8 වන දා ය.

අනතුරුව එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කරන ලද අතර එම අභියාචනා විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය පනවනු ලැබූ මරණීය දණ්ඩනය ස්ථිර කිරීමට තීන්දු කළේ ය.

ඉන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට තීන්දු කර තිබිණි

ඒ අනුව, ඔහු 2021 වසරේ ජූනි 24 වන දා නිදහස් කෙරිණි.

පසුව එම සමාව ප්‍රදානය කිරීමේදී නිසි නීතිමය පටිපාටිය හිටපු ජනාධිපතිවරයා අනුගමනය කර නොමැති බවට ත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බවට ත් තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සුමනා ප්‍රේමචන්ද්‍ර ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නීතිඥ ගසාලි හුසේන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති සමාව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් කළේ, 2022 වසරේ මැයි 31 වන දා ය.

අනතුරුව ඔහු දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2022 වසරේ ජූනි 31 වන දා අත්අඩංගුවට ගනු ලැබී ය.

COMMENTS