වැඩ තහනම් කළ ලංවිම සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළට

ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතාවකට සහභාගිවීමේ චෝදනාව මත තවත් සේවකයින් 51 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියා සිටියේ මෙම සියලු සේවකයින් මුදල් අයකැමිවරුන් බවයි.
ඊයේ දිනයේද මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබුණා.
ඒ අනුව මේ වනවිට වැඩ තහනම් කළ මුලු සේවක සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ යනවා.
විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව මණ්ඩලයේ සේවකයින් පසුගිය 3, 4 සහ 5 යන දිනවල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙමින් විරෝධතාවලට එක්වුණා.
මේ නිසා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා සිදුවූ බවට අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී තිබුණා.
ඒ අනුව විදුලිබල සැපයුමට බාධා කරමින් වර්ජනයේ නිරත වූ සේවකයින්ගේ සේවය වහාම අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත දැනුම් දෙනු ලැබුවා.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියා සිටියේ සේවක විරෝධතා හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවාවන්ට කිසියම් බාධාවක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බවයි.
එසේ කිසියම් සේවකයෙකු තවදුරටත් රාජකාරි කටයුතුවලට බාධා කර ඇත්නම් ඔවුන්ගේද සේවය අත්හිටුවීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

