විශ්ව බුද්ධ යළි රිමාන්ඩ් – මහා නායක හිමිත් තීරණයක් ගනී

බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැමැත්තා මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකතර තිබෙනවා.
ඒ, ඔහු නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කලගෙඩිහේන ඔහුගේ නිවසේදීයි.
මීට පෙරද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණා.
මෙම චිවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන් කළේ බාහිර පාර්ශවයක් මගින් රුපියල් ලක්ෂ 25ක මුදලක් සැකකරුගේ ගිණුමකට යොමුකර ඇති බවයි.
විටෙක චීවරධාරියෙකු ලෙස මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසද පෙනී සිට ඇති බවට එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළා.
එමෙන්ම කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම පුද්ගලයා පිටුපස සිටින බවට තොරතුරු හෙළිව ඇති බවද අනාවරණ කළ එම දෙපාර්තමේන්තුව මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ වැඩිදුරටත් අනාවරණ කළේ මෙම සැකකාර චීවරධාරියා වාහන භාවිත කරමින් කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවයි.
මේ අතර විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබේ.
පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වනු ඇත.
එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කරගනිමින් රත්නපුරේ විමලබුද්ධි හිමි රාමඤ්ඤ නිකායෙන් නෙරපීමට තීරණය කර ඇති බවය.



