අපේ ජනබල පක්ෂයේ සභාපති ඇතුළු 5ක් ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් තොරතුරු

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී කැබ් රථයකින් පැමිණි පිරිසක් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම වෙඩි තැබීම අද (22) පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේදී සිදුවූ බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූවන් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ තිබූ අතර උදෑසන ආහාර ගැනීම සඳහා රථය නතර කළ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබිණි.
කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇත.
මෙම වෙඩි තැබීමෙන් සමන් පෙරේරා ඇතුළු 4 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තුවාල ලැබූ එක් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මිය ගිය සමන් පෙරේරාට එරෙහිව පුද්ගල ඝාතනයක් සම්බන්ධව තංගල්ල අධිකරණයේ පවතින නඩුවක් සඳහා සහභාගී වීමට මොවුන් පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මිය ගිය පිරිස අතර සිටින අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික හෝටලයක හිමිකරුවෙකු ද වන අතර ‘රෝයල් බීච් සමන්’ යන අන්වර්ථ නාමයෙන් ද ඔහුව හඳුන්වා තිබේ.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

