දයාසිරිට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

දයාසිරිට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (22) නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි සළකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එය ලබන 29 වනදා කැඳවන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාල විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අධිකරණය අනතුරුව පෙත්සම ලබන 29 වනදා කැඳවීමටයි එහිදී නියම කළේ.

පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව එහි මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරින් ඉවත් කල බවයි.

ඉන් පසුව එම ධුරයේ වැඩ බැලීම සඳහා සාරති දුෂ්මන්ත මිත්‍රපාල පත්කල බවත් පැමිණිල්ලේ සඳහන්.

පසුව දයාසිරි ජයසේකරට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කොට කරුණු විමසීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන්.

එසේ තිබියදී දයාසිරි ජයසේකර විසින් වැඩබලන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබෙනවා.

ඒ අනුව, මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

COMMENTS