අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල ප්‍රදර්ශනයට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල ප්‍රදර්ශනයට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල අද සිට සතියකට දින තුනක් මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

මේ අතර පසුගිය 22 වැනිදා සිට බස්නාහිර පළාත තුළ බිත්තර බෙදා හැරීම ආරම්භ කරන බව ලංකා සතොස සභාපතිවරයා ප්‍රකාශ කළද බොහෝ ප්‍රදේශවලට බිත්තර ලැබී නොමැති බවටයි පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ.

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බිත්තර ලංකා සතොස හරහා පාරිභෝගිකයින්ට අලෙවි කෙරුණත් පසුගිය දින කිහිපයේ සිට සතොස අලෙවිසැල්වල බිත්තර හිඟයක් මතුව තිබුණා.

එවන් පසුබිමක සතොස හරහා රුපියල් 35කට අලෙවි කළ ආනයනික බිත්තරයක් රුපියල් 43කට අලෙවි කිරීමට ද වෙළෙඳ අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තා.

කෙසේ වෙතත් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ බස්නාහිර පළාත තුළ බිත්තර බෙදාහැරීම පෙරේදා සිට ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් අප ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී දක්නට ලැබුණේ ඇතැම් ප්‍රදේශවලට බිත්තර ලැබී තිබුණත් බොහෝ ප්‍රදේශවලට බිත්තර ලැබී නොමැති බවයි.

මේ අතර පාරිභෝගික අධිකාරිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල අද සිට සදුඳා, අඟහරුවාදා සහ බදාදා දිනවලදී මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන බව පාරිභෝගික අධිකරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, හාල්මැස්සන්, ආනයනික ලොකු ළුෑනු සහ මයිසුර් පරිප්පුවල මිල එලෙස ප්‍රදර්ශනය කරන බවයි.