මිහින්තලේ හිමියන්ට මරණ තර්ජන කළ සැකකරුවෙක් අත්අඩංගුවට

මිහින්තලේ හිමියන්ට මරණ තර්ජන කළ සැකකරුවෙක් අත්අඩංගුවට

මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට පසුගිය වසරේ රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.

ඔහු තම නිවසේ රැදී සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

2023 වසරේ ජුනි 1 වනදා රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට නිර්ණාමික දුරකථන ඇමතුම් ලබා දී මරණීය තර්ජන එල්ල කර තිබුණා.

මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් පසුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

COMMENTS