අලුත් දෙළුම් ප්‍රභේද 2ක් – මලී PINK සහ ලංකා RED

අලුත් දෙළුම් ප්‍රභේද 2ක් – මලී PINK සහ ලංකා RED

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද පටක රෝපණ පර්යේෂණ අනුව මෙරට දෙළුම් වගාවට නව දෙළුම් ප්‍රභේද 2ක් හඳුන්වා‍ දී තිබෙනවා.

මෙම නවතම දෙළුම් ප්‍රභේද දෙක ‘මලී PINK’ සහ ‘ලංකා RED’ යනුවෙන් නම් කර තිබෙනවා.

නවතම දෙළුම් ප්‍රභේද දෙක හඳුන්වා දීම (24) දින හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සහ නවතම දෙළුම් ප්‍රභේද හඳුන්වා දුන් කෘෂි පර්යේෂණ විද්‍යාඥ ලංකා සමන්මලී මහත්මිය සහ පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය වින්ද්‍යා බස්නායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුණා.

මෙම නවතම ප්‍රභේද දෙකේ විශේෂත්වය නම්, දෙළුම් ගසක ආයූ කාලය වසර 30ක් වන අතර, එක ගසකින් වසරකට දෙළුම් කි‍ලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි වීමයි.

අක්කරයකට ගස් 400ක් වගා කළ හැකි අතර, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන අටක ආදායමක් ඉපයිය හැකියි.

විශේෂයෙන් මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගාවට සුදුසු වන අතර, දැනට ආනයනය කරන රතු පැහැති දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් වශයෙන් මෙම දෙළුම් ප්‍රභේද යොදා ගැනීමට හැකිවන නිසා දෙළුම් ආනයනය සඳහා වැයවන මුදල අප රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට වගා කළ හැකි එහෙත් විදෙස් රටවලින් ආනයනය කරන කෘෂිකාර්මික බෝග තවදුරටත් ආනයනය කිරීම වළක්වා ගැනීම සඳහාත්, අපනයනය කළ හැකි බෝග වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහාත් අවධානය යොමු කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනුලැබුවා