සනත් නිශාන්තගේ රියදුරා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තා ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වැලිසර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී ඇත.
සනත් නිශාන්ට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන්, රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.
ඔහු වසර 10ක පමණ සිට සනත් නිශාන්ත මහතා යටතේ රාජකාරී කළ අයෙක් බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු පොලීසිය වෙත සිද්ධිය හෙළි කර ඇත්තේ මෙලෙසිනි.
”අපි හලාවත වෙඩින් එක ඉවර වෙලා කොළඹ එමින් ගමන් හිටියේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහිං හිටියේ. මම හයිවේ එකේ අපිට ඉස්සරහින් ගිය කන්ටේනර් එක ඉස්සර කරන්න උත්සාහ කළා. එතකොටම මම දැක්කා පිටිපස්සෙන් තව කාර් එකක් එනවා. ඒ නිසා මම අපේ වාහනය වම් පැත්තට ගන්න හදනකොටම ජීප් එක කොන්ට්‍රෝල් නැතුව ගිහිං කන්ටේනර් එකේ වැදුණා. ඊට පස්සේ ජීප් එක වැටේ හැප්පිලා නතර වුණා.”
අනතුරට පත් රථයේ වේගය සම්බන්ධයෙන් කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පැයට කිලෝමීටර් 138 ඉක්මවන වේගයකින් ධාවනය කර තිබූ බවය.
මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර එම වාර්තාව ඉදිරි සතිය තුළදී ලැබීමට නියමිත බව පොලීසිය පවසයි.
අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුළට බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පතිවරයා වරයා විසින් පෙරේදා (25) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබේ.

